2022 මැයි 08 වන ඉරිදා

දැනෙන හුස්මක් ලෙසින් ප්‍රේමයක් හමුවේනම්....

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 83

කවදා කොතැනකදී කවර වෙසෙකින් හමුවුවත් ප්‍රේමය ප්‍රේමයමය. ආදරය ආදරයමය. ඉසියුම් ලේ නහර විනිවිද ආත්මීය බන්ධනයකින් ජීවිතයම වෙලාගත් ආදරයක් හෝ ප්‍රේමයක් ඔබට හමුවීද? තවත් නම් යස ඉසුරු කුමටදැයි එවන් හමුවීමක් අස ඔබට දැනෙනු ඇත. ඔබට හැඟෙනු ඇත.

රෝජා දමිළ සිනමා සිත්තම ඔස්සේ දිගහැරෙන්නේ එවන් ආදරණීය ප්‍රේමයක් ගැන කතාන්දරයකි. ඒ ආදර කතාව පසුබිම කාශ්මීර දේශසීමා අර්බුදය පිළිබඳව ද තවත් කතාන්දරයක් දිග හැරෙයි.

මහ පොළොවට සීමා මායිම් ලකුණු කළ හැකි වුවද ප්‍රේමයට හෝ ආදරයට සීමා මායිම් ලකුණු කළ නොහේ. ඒ ප්‍රේමය ප්‍රේමයම වන හෙයිනි. ආදරය ආදරයම වන හෙයිනි. ඒ මානවීය හැඟීම් විෂයෙහි උපමා උපමේයන් ලොවෙහි කොතැනකවත් නැති වග මම විශ්වාස කරමි. මක් නිසාද යත් ලොව අන් සියල්ලටම සීමාවක් කෙළවරක් සහ අවසානයක් ඇති හෙයිනි.

රෝජා ඈත ගමක ජීවත් වෙන යුවතියකි. ඇය විවාහ වෙන්නේ නගරයේ තරුණයෙක් සමඟය. ඔහු මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වශයෙන් හමුදාව සමඟ සම්බන්ධ වී රාජකාරි කරයි. එහෙයින් ඔහු සන්තකයේ සතුරු පාර්ශ්වයට අවැසි දත්ත ගබඩාවක්ම පවතී. ඔවුන් ඔහු පසුපස හඹා යමින් ඔහුව තම අත්අඩංගුවට පත් කර ගනී. කෙතරම් වධ හිංසාවන්ට එහිදී පත් වුවද ඔහු ඉන්දීය හමුදාව පිළිබඳ ඔහු සන්තකයේ පවතින කිසිම රහසක් අනාවරණය නොකරයි. කාශ්මීර දේශසීමා අර්බුදය හා සම්බන්ධ පකිස්ථාන මුස්ලිම් අත්ඩංගුවට පත් තම සැමියා මුදාගැනීමට ඉන්දියානු හමුදාව සමඟ එක්ව රෝජා කරන සටන මෙම සිනමා රෑපකාරකයට වස්තු විෂය වී ඇත. අවසානයේ දිගු වෙහෙසකර වෑයමකින් ඉනික්බිති රෝජාට තම සැමියා මුදාගැනීමට ලැබෙයි.

ගැහැනියක් සතු ශක්තිය ධෛර්යය මේ මහ පොළොව තරම් වෙයි. මහ පොළොවට අකම්පාව බොහෝ දේ ඉවසිය හැක්කේ දරාගත හැක්කේ යම් සේද, ගැහැනියකට ජීවිතය අබිමුවට සපැමිණෙන ඕනෑම දුකක් වේදනාවක් ඉසිලිය හැකි වන්නේද එලෙසමය.
මෘදු ළතෙත් ගුණ සේම අප්‍රමාණ ශක්තියක් ද සොබාදහම විසින් ඇයට ප්‍රදානය කර ඇත්තේ ගැහැනිය යන භූමිකාව තුළ සරණ ඇයට නිතැතින්ම මුහුණ දෙන්නට සිදුවන අප්‍රමාණ වධ වේදනා නිසා යැයි මට වරෙක සිතේ.

සංසාරය යන අනන්ත චාරිකාවේදී ජීවිතය යනු එක ගමනාන්තයක් පමණි. ගමනාන්තයෙන් ගමනාන්තයට ජීවිතය සොයාගෙන අපි සසර සක්මන සැරි සරන්නෙමු. ඒ සංසාර චාරිකාවේදී ආදරය සහ ප්‍රේමය නොවැරදීම කොතැනකදී කවර වෙසෙකින් හෝ මුණගැසෙයි.

ජීවිතයේ වැටෙන හුස්මක් ලෙසින් නොව දැනෙන හුස්මක් ලෙසින් සසර සක්මන පුරා ආදරය සහ ප්‍රේමය මුණගැසුණොත්.... ජීවිතය සොඳුරු තාලයක් හිමි ගීතයක් යැයි මට හැඟේ.

ජීවිතයේ සමහර කාලපරිච්ඡේද තියෙනවා ඒ කාල පරිච්ඡේද ගෙවද්දි හරිම දුෂ්කරයි. ඒත් තවත් කාලයක් ගිහින් ආපසු හැරී බලද්දි ඒ ගෙවා නිම කළ කාලය දැනෙන්නේ ජීවිතයේ හරිම අපූරු අත්දැකීමක් විදිහට. ඒ අත්දැකීම් විඳිද්දි මහා වෙහෙසකර බවක් දැනුණත් ආපසු හැරී එම අත්දැකීම් ඔස්සේ ලද බොහෝ දේ ජීවිතය වෙනුවෙන් ඉපයූ සුන්දර වත්කමක් විදිහටයි දැනෙන්නේ.

ඇත්තටම ආදරය අහිමිවීමටත් වඩා ආදරය මඟහැරීම වේදනාවක්. හමුවීමට වුවමනාව තිබියදීත් මඟහැරගන්නට සිදුවීම ඊටත් වඩා වේදනාවක්. එහෙත් ඒ සියල්ල අවසානයේ යළි සිදුවීම මඟහැරුණු ආදරයේ සියලු වත්කම් හිමිවීම තරම් සතුටක් තවත් කොහෙන්ද කියලා ඔබටත් හිතෙයි... ඔව් වෙහෙසකර සමයකින් ඉනික්බිති වෙහෙස නිවාලන තෝතැන්නක් හමුවීම නිරාමිස සතුටක්!